ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු - Sinhala Guitar Lessons with Tabs and Chords

ගිටාරයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

ගිටාර් පන්තියට එකතු වුන ඔයාලගේ සිහිනය තමයි කවද හරි දක්ෂ ගිටාර් වාදකයෙක් වෙන එක.බොහෝ දෙනෙක් ගිටාර් ඉගෙන ගන්න කැමති වුනාට තමන් ගාව ගිටාර් එකක් නෑ.ගිටාර් ඉගෙන ගන්න නම් මුලින් ගිටාරයක් තියෙන්න ඕනනේ.ඒ වගේම තමයි මේ සඳහා විශාල කැප කිරීමක් සහ උනන්දුවක් තියෙන්න ඕනෙ.

ඔබ කෙතරම් මහන්සියක් දැරුවත් ආධුනිකයෙක් විදියට ඔබ හරි ගිටාරයක් තෝරා නොගත්තොත් ඔබගේ මහන්සියේ ප්‍රතිඵල ගැන ඔබ සෑහීමකට පත් වෙන්නෙ නෑ.අන්තිමට ගිටාර් වාදනය වාදනයත් අත ඇරලා දානවා.අන්න ඒක නිසා අද අපි බලන්න යන්නේ ගිටාරයක් මිලදී ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන.දැනට ගිටාරයක් තියෙන අය මේ ලිපිය කියවල හැම වැරැද්දම ගිටාරයට දාල අලුත් ගිටාරයක් ගන්න හදන්න එපා.නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියනවනේ.ප්‍රතිඵල ගොඩාක් රඳා පවතින්නේ තමන්ගේ නිසි පුහුණුව මත.ඒක නිසා මුලින් හොඳට ප්‍රැක්ටිස් කරන්න.ගිටාරය ගැන සෑහීමකට පත් වෙන්නෙ නැති නම් විතරක් අලුත් ගිටාරයක් ගන්න.

හොඳයි දැන් අපි බලමු මොනව ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියලා.ගිටාරයක් මිලදී ගන්න ඉස්සෙල්ල පහත සඳහන් ප්‍රශ්ණ තුන තමන්ගෙන්ම අහන්න.

  • මගේ අවශ්‍යතාව කුමක්ද?
  • මිලදී ගන්න ඕනෙ කොහෙන්ද?
  • ගිටාරයේ බැලිය යුතු දේවල් මොනවාද?

මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගත්ත නම් ගැටලුව ඉවරයි නේද? ගිටාරයක් නෙවෙයි වෙන ඕන දෙයක් මිලදී ගන්න ඉස්සෙල්ල මේ විදියට හිතනවනම් හොඳයි.

දැන් අපි එකින් එක ප්‍රශ්ණ විසඳ ගමු.

මගේ අවශ්‍යතාව කුමක්ද?

මුලින්ම දැනගන්න ඕනෙ කරුණ තමයි තමන්ට අවශ්‍යය මොන වර්ගයේ ගිටාරයක්ද කියන එක.මේ සඳහා හොඳම දේ තමයි ගුරුවරයෙක්ගෙන් අසා දැනගන්න එක.එහෙමත් නැත්නම් ගිටාර් ගැන ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් කියවන්න.ඊට පසුව තීරණය කරන්න තමන්ට අවශ්‍යය අකෝස්ටික් ගිටාරයක්ද ඉලෙක්ට්‍රික් ගිටාරයක්ද?අකෝස්ටික් එකක් නම් ස්ටීල් ස්ට්‍රින්ග්ස් තියෙන එකක්ද නැත්නම් නයිලෝන් ස්ට්‍රින්ග්ස් තිබෙන ක්ලැසිකල් ගිටාර් එකක්ද?ගිටාරය සෙමි අකෝස්ටික් එකක් විය යුතුද නැත්ද?කියලා .මේව ඔක්කොම අණ්ඩර දෙමල වගේ නම් බය වෙන්න එපා.මම ඉස්සරහට ගිටාර් වර්ග ගැන පැහැදිලි සවිස්තරාත්මක ලිපියක් ලියන්නම්.ඒ වෙනකන් ගැටලුවක් තියෙනවනම් මෙතන කමෙන්ටුවක් දාන්න.ඔයාලගේ අවශ්‍යයතාවය කිව්වම මම උදව් කරන්නම් ඔයාලට ඕන ගිටාරය මොකද්ද කියල තීරණය කරන්න.

ඒ වගේම තමයි ඔයාලගේ budget එක කීයක් විතර වෙනවද කියල හිතන්න.මොකද ඒ අනුවත් ඔයාල මිලට ගන්න ගිටාරය තීරණය වෙනවා.

මිලදී ගන්න ඕනෙ කොහෙන්ද?

කොච්චර බයිලා ගැහුවත් ලංකාවේ ගිටාරයක් මිලදී ගන්න තියෙන තැන්නම් ඉතා සීමිතයි.ගිටාරයක් මිලට ගන්න ලංකාවේ ඇති ස්ථාන කීපයක් පිලිබඳව වෙනම ලිපියක් ලියන්න මම බලාපොරොත්තු වෙනවා.ඒක ලියල ඉවර වුනාම මෙතනට සබැඳියක් දාන්නම්.

ගිටාරයේ බැලිය යුතු දේවල් මොනවාද?

Action
ගිටාරයේ තත් ෆ්‍රෙට් බෝර්ඩ් එකට තද කරන්න පහසුද අමාරුද බලන්න.Action එක කියල කියන්නේ ගිටාරයේ තත් සහ ෆ්‍රෙට් බෝර්ඩ් එක අතර තිබෙන දුර ප්‍රමානයයි.සාමන්‍යයෙන් මේක මනින්නේ දොලොස් වෙනි ෆ්‍රෙට් එකේ ඉඳන්.Action එක අඩු වෙන තරමට වාදනය කරන්න පහසුයි.ඒත් ඒක අඩු වෙන්න අඩු වෙන්න අනවශ්‍යය ශබ්ද (buzz) එකක් එන්න බලනවා.ඒක නිසා සාමාන්‍යය ප්‍රමාණයක action එකක් ඇති ගිටාරයක් තෝර ගන්න.Action එක පිලිබඳව සවිස්තරාත්මක විස්තරයක් මම පස්සෙ ලියන්නම්.දැනට ඔය කරුණු ටික හිතේ තියාගන්න.

Intonation
මුලින්ම ගිටාරය ටියුන්ද කියල බලන්න.කණට ටියුන් කරගන්න බැරි නම් ටියුනරයක් ආධාරයෙන් හරි ටියුන් කරගන්න.ඊට පස්සේ එක එක ෆ්‍රෙට් එක ගානේ තද කරල බලන්න ෆ්‍රෙට් බෝර්ඩ් එකේ අව්ලක් තියෙනවද කියලා.මේ සඳහා ක්‍රොමැටික් ටියුනරයක් තියෙනවනම් හොඳයි.මේක විශේෂයෙන් බලන්න ඕනෙ පරණ ගිටාරයක් ගන්නව නම් තමයි.ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක අලුත් ගිටාරයක් ගන්නවනම් මේ දේවල් නොබැලුවට කමක් නෑ.බැලුවොත් වඩා හොඳයි.

Guitar Neck
Neck එක කෙලින්ද බලන්න.අනිත් එක Neck එක ඕනවට වඩා මහතද බලන්න.එහෙම වුනොත් වාදනය කරන්න අපහසු වෙනවා.


Guitar Tone ,Resonance and Projection
වැදගත්ම දෙය තමයි ගිටාරයේ හඬ (Tone) බලන්න.බලන්න නෙවෙයි අහන්න.අනිත් කරුණ ,ස්වරයක් වාදනය කරලා ඒක කොච්චර වෙලා රැදී තියෙනවද බලන්න.(Resonance) හොඳ ගිටාර් වල සාමන්‍යයෙන් වැඩි වෙලාවක් හඬ රැඳී තියෙනවා.හොඳ ගිටාරයක ශබ්දය වැඩියි.ඒ වගේම පැහැදිලියි.ඉදිරියට විහිදෙනවා.(Good Projection)

ඉලෙක්ට්‍රික් ගිටාරයක නම් බලන්න දේවල් ගොඩාක් තියෙනවා.ඒ දේවල් අපි වෙනත් දවසක ඉගෙන ගමු.

ගිටාරයක් ගත්තා.තව මොනවද?
වැඩේ අංග සම්පූර්ණ වෙන්නනම් ඔබගේ අවශ්‍යයතාවය අනුව තව දේවල් කීපයකුත් ගන්න ඕනෙ.ගිටාරයට බෑග් එකක්,පික් එකක් ස්ට්‍රින්ග් සෙට් එකක් ගිටාරය එල්ලගෙන වාදනය කරන්න ස්ට්‍රැප් එකක් මේ අතරින් කීපයක්.මේ දේවල් එක පාරටම ගන්න එක හොඳයි නැත්නම් පස්සෙ ගැනෙන්නෙ නෑ.ගොඩක් වෙලාවට ගිටාරයක් මිලදී ගත්තාම බෑග් එකක් සහ පික් එකක් නොමිලේ දෙනවා.
බෑග් එකක් නම් හොඳට පෑඩඩ් (padded) කරපු බෑග් එකක් ගන්න බලන්න.පෑඩඩ් කිව්වෙ බෑග් එක ඇතුලේ හොඳට ස්පොන්ජ් දාල තියෙන එකට.ඒක ගිටාරයේ ආරක්ෂාවට හොඳයි.ඔබ ගන්නේ පරණ ගිටාර් එකක් නම් අනිවාර්යෙන්ම හොඳ ස්ට්‍රින්ග් සෙට් එකක් ගන්න.හොඳ ස්ට්‍රින්ග් සෙට් එකක් දැම්මම ගිටාරයේ හඬ ගොඩක් වෙනස් වෙනවා.

මේ ලිපියේ අරමුණ ඔබ මිලදී ගන්න ගිටාරයේ බැලිය යුතු කරුණු ගැන මූලික දැනුමක් දීම පමණයි.ඉහත කරුණු සමහර ඒව ප්‍රායෝගිකව ශ්‍රීලංකාවේ යොදාගන්න අමාරුයි.මොකද ගිටාර් මිලට ගන්න ලංකාවේ තියෙන්නේ සීමිත තැන් කීපයක්.ඊලඟ ලිපියෙන් දැනට ලංකාවේ තියෙන ගිටාර් බ්‍රෑන්ඩ් සහ ඒව තියෙන තැන් පිලිබඳව විස්තරක් ලියන්නම්.මේක ආරම්භයක් විතරයි.

ලිපිය වැදගත් කියල හිතෙනවනම් කමෙන්ටුවක් දාල යන්න. ඔයාලට තියෙන ගැටලුත් කමෙන්ටුවක් මඟින් ඉදිරිපත් කරන්න.මම හැකි ඉක්මනට ඒවට පිලිතුරු දෙන්නම්.