ගිටාරය සහ ආකල්පය - Sinhala Guitar Lessons with Tabs and Chords

ගිටාරය සහ ආකල්පය

සමහරවිට මේ ලිපිය බලන ඔයාලා ගිටාර් වාදනයට ආධුනිකයයෙක් වෙන්නත් පුලුවන් නැත්නම් දැනටම හොඳට ගිටාර් වාදනය කරන කෙනෙක් වෙන්නත් පුලුවන්.මේ මොන විදියෙ කෙනෙක් උනත් සංගීත භාණ්ඩයක් ඉගෙන ගෙන දිගු ගමනක් යන්න හිතන් ඉන්නවනම් හිතේ තියාගන්න ඕනෙ වැදගත් කරුණු ටිකක් තියෙනවා.මොකද ගොඩක් අය ටිකක් කල් ඉගෙන ගෙන මග හිර වෙනව.එතනින් එහාට යන්නෙ නෑ.මොකද්ද මේකට හේතුව?අන්න ඒ දේ කියන්න තමයි මේ ලිපිය වෙන්වෙන්නෙ.

මුලින්ම මතක තියාගන්න අපි මේ ඉගෙන ගන්න යන්නේ සංගීත භාණ්ඩයක්.ඉගෙන ගන්න භාණ්ඩයට වගේම ඉගෙන ගන්න යන ශ්‍රාස්ත්‍රයට ලොකු ගෞරවයක් ඔයාලගේ හිතේ තියෙන්න ඕනේ.අනිත් එක තමයි මේ සඳහා ඔයාල යම්කිසි කාලයක් කැප කරන්න වෙනවා.ඉස්සර වගේ නෙවෙයි දැන් මිනිස්සු නිදහස් නෑ.වැඩ කෝටියයි.නමුත් හරියට කාලය කළමනාකරණය කරගත්තොත් ඒක ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි.අනික ආසාව තියෙනවනම් කාලය ගැන හිතෙන්නෙවත් නෑ.මේ අදහස් ටිකත් ඔලුවෙ තියාගෙන අපි මාතෘකාවට බහිමු.

මුලින්ම ගිටාරයක් අතට ගන්න කෙනෙකුට, ගිටාර් ගැන දන්න කෙනෙක්ට වඩා ඒක ඉගෙනගන්නෙ කොහොමද කියන බය ඇති වෙනවා.ඒක සාමාන්‍ය දෙයක්.නමුත් ගිටාර් එකත් එක්ක ටික දවසක් ඉඳලා,ඒකට හුරු උනාම ගිටාර් එක තමන්ගෙ දෙයක් බවට පත්වෙනවා.වාදනයට දක්ෂයෙක් වෙන්න නම් හොඳ ගුරුවරයෙක් හරි හොඳ පාඩම් මාලාවක් වගේම නිවැරදි පුහුණුව අත්‍යාවශ්‍යයි.නමුත් කොච්චර හොඳ ගුරුවරයෙක් ගාවට ගියත් කොච්චර හොඳට පුහුණු වුනත් සමහර අය එකම තැන.වැදගත්ම දේ තමයි තමන් ගැන තියෙන විශ්වාසය සහ ආකල්පය. මේ දෙක නැතුව තමන්ගෙ ජීවිතේ එක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ.

සමහර අයට කොච්චර උත්සහ කලත් කෝඩ්ස් අල්ලන්න බෑ.සමහර අයට කෝඩ්ස් ගොඩක් වාදනය කරන්න පුලුවන් මාරු කරන්න බෑ.සමහර අයට කෝඩ්ස් දුන්නොත් ඕනේම සිංදුවක් වාදනය කරන්න පුලුවන් හැබැයි කෝඩ්ස් නැති වුනොත් අනාථයි.Ear එකට අල්ලගෙන වාදනය කරන්න බෑ.ඔය ආධුනිකයන්ට තියෙන ප්‍රශ්ණ,ප්‍රවීණයන්ටත් ප්‍රශ්ණ තියෙනවා.කොච්චර පුහුණුවේ යෙදුනත් speed picking හදාගන්න බෑ .sweep picking හරියන්නේ නෑ .ක්ලැසිකල් ගිටාර් වාදනය කරන අයට tremolo වාදනය කරගන්න බෑ.නොයෙක් මට්ටම් වල අයට තියෙන පොදු ප්‍රශ්ණය තමයි තමන් එකම තැන හිර වෙල ඉන්නව කියල ඇති වෙන හැඟීම.

මෙතනදී වැදගත් වෙන්නේ තමන්ගේ ආකල්ප වෙනස් කර ගැනීම.සමහර අයට අනවශ්‍යය පරිදි හැම දෙයක්ම හරියටම ඕනේ.(Perfectionists).ඒ වගේ අය තමන් ගැන ඕනෙවට වඩා judge කරනවා.ගිටාරය වේවා ඕනෙම වාදන භාණ්ඩයක් ඉගෙන ගන්න ටික කලක් යනවා.පුද්ගලයාගෙන් පුද්ගලයාට ශිල්පය පිහිටන විදිය වෙනස්,කෙනෙක්ට ඉගෙන ගන්න සතියක් යන දේ තව එක්කෙනෙක්ට මාසයක් යන්න පුලුවන්.ඒ දේ මත එපා වීම්, පසුබෑම් ඇතිවීම සාමාන්‍යයයි.වෙනත් අයත් එක්ක තමන් සසඳන්න යන්න එපා.
සාර්ථක වෙන පුද්ගලයො තමයි මොන දේ වුනත් මොන බාධක ආවත් තමන් කරන දෙය දිගටම කරන අය.ඒ අය දියුණු වෙන විදිය ඔයාලා බලාගෙන හිටියොත් ඔයාලට පෙනෙයි එයලා සංගීතය තමන්ගේ ජීවිතය කරගෙන ඉන්නේ.පාරේ ඇවිදිනකොට,කන කොට බොන කොට,නාන කොට මේ හැම වෙලාවේම සංගීතය.ගිටාරය අතේ නැති වුනත් මේසෙට ඇඟිලි වලින් තට්ටු කර කර ප්‍රැක්ටිස් කරනවා.ඒ අය තමන්ගේ දක්ෂතා තව තව ඔප මට්ටම් කරගෙන වැඩි දියුණු කරගන්නවා වගේම තමන්ගේ දුර්වලතා තැන් මග අරවගන්න කැපවීමෙන් වැඩ කරනවා.අනිත් අය මොන දේ කිව්වත් ඒ අය තමන් වාදනය කරන දෙයින් සතුටු වෙනවා.ඒ අය දිනෙන් දින දියුණු වෙනවා.

සමහරු ඉගෙන ගන්නකොට ඉලක්ක තියාගන්නවා.අපිට ඉලක්ක තීයෙන්න ඕනේ.නමුත් නියම කරගන්න කාලේදී ඒව ලඟා කරගන්න බැරිවුනා කියල දුක් වෙන්න එපා.සංගීතයෙන් බිහි කරන්නේ නිදහස් මනුෂ්‍යයෙක්.කාලය කියන්නේ සාපේක්ෂ දෙයක්.ඉවසිලිමත් කම නැති කරගන්න එපා.වැදගත් දේ හරි පාරේ ඉදිරියටම දිගටම යෑමයි.

It's not the goal - it's the journey.

තමන් ඉන්නෙ කොතන වුනත් මෙන්න මේ ආකල්පය ඇති කරගෙන නැවුම් විදියට ආයෙ පටන් ගන්න.එහෙම කලොත් ඔයාල දියුණු වෙන එක ඔයාලටත් වලක්වන්න බෑ.

එහෙනම් මම අදට නවතින්නම්.ටිකක් ප්‍රමාද වුනාට බය වෙන්න එපා ඉක්මනට අලුත් පාඩම් දානවා.ලිපිය වැදගත් වුනා නම් කමෙන්ටුවක් දාල යන්න.බයිල ගහන්නේ නැතුව ඉක්මනට පාඩම් දාන්න කියල හරි යන්න. 😀