බොක්ස් ගිටාරයක කොටස් හඳුනාගමු - Sinhala Guitar Lessons with Tabs and Chords

බොක්ස් ගිටාරයක කොටස් හඳුනාගමු

අද අපි ප්‍රථම පාඩම විදියට ගිටාරයේ කොටස් ඉගෙන ගන්නයි හදන්නේ.ගිටාර් වාදනය කලාට වැඩක් නෑනේ කවුරු හරි මේ මොකද්ද මේකෙන් මොකද්ද කරන්නේ කියල ගිටාර් එකේ කෑල්ලක් පෙන්නල අහල අපිට උත්තර දීගන්න බැරි වුනොත්.

ගිටාර් ඔස්තාර්ල වුනත් ගිටාරයේ සමහර කොටස් වලින් මොකද්ද කරන්නේ කියල දන්නෙ නෑ.ඒක නිසා අපිට ඕව වැඩක් නෑ අපි ඕව දන්නව කියල ආඩම්බරෙන් ඉන්නේ නැතුව ලිපිය දිගටම කියවන්න.ගොඩක් අය ලඟ තියෙන්නේ බොක්ස් ගිටාර් එහෙමත් නැතිනම් Acoustic ගිටාර් නිසා අපි අද Acoustic ගිටාරයේ කොටස් ඉගෙන ගමු. ඉලෙක්ට්‍රික් ගිටාරයේ කොටස් මම වෙන ලිපියක් ලියන්නම්.

මං පැහැදිලි කරන්න ගන්නේ සාමාන්‍යයෙන් නිතර දකින්න ලැබෙන බොක්ස් ගිටාරයක රූපයක්. බොක්ස් ගිටාර් වුනත් නානා විධ මාදිලි ගොඩාක් තියෙනවා.ඒක නිසා තමන්ගේ ගිටාර් ඒකේ මේ පෙන්නල තියෙන කෑල්ලක් නෑ කියල බය වෙන්නවත් කෑල්ලක් වැඩියි කියල ඒක ගලවන්නවත් යන්න එපා.අවශ්‍ය වන්නේ මූලධර්මය වටහා ගැනීමයි.

ගිටාරයේ කොටස් ඉගෙන ගැනීමේ පරමාර්ථය ඒක ක්‍රියා කරන විදිය ඉගෙන ගැනීම මිසක් කෑලි වල නම් ගිරවෙක් වගේ කට පාඩම් කරන එක නෙවෙයිනෙ.

පහත සඳහන් රූපය හොඳින් බලන්න.

දැන් අපි එක එක කොටස් වලින් කෙරෙන කාර්යභාරයන් මොනවද කියල සොයා බලමු.

Head
ගිටාරයේ Tuning Pegs සවි වෙන කොටස.


Tuning Pegs
ගිටාරයේ තත් (strings) සුසර කරගැනීම (Tuning) සඳහා භාවිතා වන කොටස.
දන්නෙ නැතුව කරකවන්න ගිහින් strings කඩා ගන්න එපා.

Nut

ගිටාරයේ තත් නිදහසේ කම්පනය වීම සඳහා ඇති ප්ලාස්ටික් කොටස.

Neck

ගිටාරයේ Nut එක සහ Body එක අතර අති Frets සහිත කොටස.


Fingerboard/Fret Board

ගිටාරයේ විවිධ ස්වර වාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් වම් අතින් අල්ලනු ලබන Neck එකේ ඉදිරිපස කොටස.මෙහි Frets සාදා ඇත්තේ ගණිතමය නීති අනුව සංඛ්‍යාත නියමිත ස්වර වල පිහිටන්නයි.එම නිසා Frets අතර පරතරය එන්න එන්න අඩු වෙනවා.


Sound Hole

ගිටාරයේ තත් වල කම්පනයන් වැඩි කිරීම සඳහා ඇති විවරය.

රූපයේ තියෙන ගිටාරයේ තියෙන්නේ රවුම් විවරයක්.ඒත් සමහර ගිටාර් ඉංග්‍රීසි f අකුරේ හැඩයට කපල තියෙනවා.ඒවට f cut කියල කියනවා.දැන් ඉතින් මගෙන් අහන්න එපා ඇයි f හැඩයටම කැපුවේ සිම්පල් ඩබ්ලිව් අකුරේ හැඩයට කැපුවේ නැත්තේ ඇයි කියලා.කොහොම කැපුවත් මොකද සද්දෙ එනවනම්.

හැබැයි මෙහෙම එකක් තියෙනවා.විවරයේ හැඩය අනුව ඒකෙ නිපදවෙන උපරිතාන වෙනස් වන නිසා සහ වෙනත් විවිධ සංකීර්ණ හේතු නිසා ගිටාරයේ ශබ්දය වෙනස් වෙනවා.විද්‍යාවේදී ධ්වනි ගුණය කියලා කියන්නේ.සරල සිංහලෙන් කිව්වොත් ගිටාර් එකට පට්ට Tone එකක් එනවා.හැබැයි ඔය වගේ සූක්ෂම විදියට වෙනස් වෙන Tone එක පුහුණු කනකට මිසක් ආධුනිකයින්ට තේරෙන්නේ නැහැ.අනිත් එක අපි භාවිතා කරන ගිටාර් වලට ඒකෙ ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.ඒවගේ කරුණු වැදගත් වෙන්නේ ලක්ෂ ගානක් වටින concert ගිටාර් වලට.

ඔය ටික පැහැදිලිව කිව්වෙ මොකද නැත්නම් , එක එක හැඩේට ගිටාර් ඒකෙ sound hole එක කපල tone එක වෙනස් කරගන්න ගිහිල්ල තියෙන ගිටාර් එකත් කඩා ගනියි කියන බයට.දන්නෙ නැද්ද අපේ අයියලගෙ හැටි.


Bridge
ගිටාරයේ තත් Body එකට සවි කරන කොටස

Saddle

Bridge එක අන්තයේ තත් කම්පනය වීමට නවත්තගන්නා කොටස


Pick Guard

Pick එකක් භාවිතා කිරීමේදී Body එක සීරීම් වලින් ආරක්ෂා කර ගන්නා කොටස


Body

මෙය මඟින් ගිටාරයේ තත් වල කම්පනයන් වැඩි කර ශබ්දය වැඩි කර දෙනු ලැබේ.

හැම කොටස ගැනම ගැඹුරෙන් විස්තර කරන්න පුලුවන් ඒත් මුල් දවස නිසා එච්චර ඕනෙ නෑ කියලා හිතුනා.ටිකෙන් ටික ඉගෙන ගමු.මොකටද හදිසි වෙන්නෙ නේද.මේක තරඟයක් නෙවෙයිනේ.පස්සේ මං වෙන වෙනම කොටස් ගැන හොඳට විස්තර කරන්නම්.ප්‍රශ්ණ තියෙනව නම් තේරෙන්නෙ නැති දෙයක් තියෙනවනම් අහන්න.

පලමු දවසේම ඔයාලගෙන් ලැබුනු සහයෝගයනම් ගොඩාක් වටිනවා.කමෙන්ට්ස් වැටුනාම තමයි කික් එකක් එන්නේ ලියන්න.ඒක නිසා පොඩි කමෙන්ටුවක් දාලම යන්න.මං නොකලට අනිත් අය කරයි කියලා හොරා වගේ යන්න එපා.දන්නවනේ ආඬි හත් දෙනාගේ කැඳ හැලියට වුන වැඩේ.

පසු වදන : පුදපු ගමන් කාපි යකා කිව්ව වගේ අද උදේම මට කෙනෙක් බැනල තිබ්බා බොරු උගන්නන්න එපා බොක්ස් ගිටාර් කියල එකක් නෑ ඒක අපි හදාගත්ත එකක් කියලා.ඇත්ත බොක්ස් ගිටාර් කියන්නේ අපි හදාගත්ත නමක්.ඕකට (Acoustic) අකෝස්ටික් කියල මුලින්ම කිව්ව නම් කට්ටියගේ කටත් උලුක් වෙනවනේ.ඒකයි මම හැමෝම දන්න සරල විදියට පොදු භාවිතේ තියෙන බොක්ස් කියන වචනෙ ලිව්වෙ.අනිත් එක බලන්න සිංහලෙන් අකෝස්ටික් කියල ලිව්වම ඒකේ තියෙන කැත.

එයා එහෙම කියන්න ඇත්තේ කවුරු හරි ගුරුවරයෙක් උගන්නන්න ඇති බොක්ස් ගිටාර් කියල දෙයක් නෑ ඒක වැරදියි කියලා.මේක වචන හරඹයක් නෙවෙයිනෙ. අවශ්‍යය වන්නේ හරියට මූලධර්ම තේරුම් ගැනීමයි.උගන්නන්න ඕන දේවල් දන්නේ නැති වුනාම ඔය වගේ වචනයක් අල්ලගෙන ඒක වැරදියි මේක වැරදියි කිය කිය කාලේ යවලා ලමයි සූරා කන ගුරුවරු ඕන තරම් ඉන්නවා.මේ රටේ ගොඩක් ඉන්නෙ ගුරුවරු නෙවෙයි ගුරු හොරු.උගන්නන්න ඒ අයට තෙරෙන්නේ නෑ.ලංකාවේ හොඳ ගුරුවරු නැතුවාම නෙවෙයි.ඒ වගේ අය හොයාගන්න අමාරු නිසා තමයි මේ බ්ලොග් එකත් පටන් ගත්තේ.මේ බ්ලොග් එකේ පරමාර්ථය තමයි තේරෙන සරල සිංහලෙන් ගිටාරය වාදනය කරන්න කියල දෙන එක.සරල භාෂාවෙන් ලිය වුනාට මූලික මූලධර්ම ඔයාලට නොදැනීම හොඳට තේරේවි.බය වෙන්න එපා දිගටම රැඳී ඉන්න.සරලව මම කියල දෙන්නම්.ඕනෙ ප්‍රශ්ණයක් අහන්න.මේ බ්ලොග් එක ඔයාලට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියල මං හිතනව.