වමත් කරුවන්ට ගිටාරය තහනම්ද? - Sinhala Guitar Lessons with Tabs and Chords

වමත් කරුවන්ට ගිටාරය තහනම්ද?

(නොමිලේ ගිටාර් පික් එකක් දිනාගන්න ලිපිය අවසානය තෙක් කියවන්න.)

අපෝ නෑ.ඒ වුනාට වමත් අයට තියෙන පොදු ප්‍රශ්ණයක් තමයි එයාලා වාදනය කරන්න ඕනේ කොහොමද කියලා.මේ වගේ අයට විකල්ප කීපයක් තියෙනව.අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ එක එක ක්‍රමයේ තියෙන වාසි අවාසි ගැන කතා කරන්න.මේ ලිපිය අවසානයේදී ඔයාලට ගැලපෙන හොඳම ක්‍රමය තෝරගන්න පුලුවන් වේවි.
 අපි මුලින්ම පොඩ්ඩක් හොයල බලමු වමත් දකුණත් අය ගැන පොඩි විස්තරයක්.අත් හුරුව කියල කියන්නේ අපි සියුම් වැඩ සඳහා (fine motor skills) අසමාන ලෙස එක් අතකට හුරු වීම නිසා ඇති වෙන දෙයක්.

ලෝකයේ ඉන්න පුද්ගලයන් අත් හුරුව අනුව කොටස් හතරකට බෙදන්න පුලුවන්.ඔයාල බලනව ඇති අපිට අත් දෙකයිනෙ තියෙන්නේ මේකට කකුලුත් ගන්නවද කියලා. නෑ නෑ එහෙම නෙවෙයි.මෙන්න මෙහෙමයි ඒක බෙදෙන්නේ.

  1.දකුණත් අය

  2.වමත් අය


  3.මිශ්‍ර වමත් සහ දකුණත් අය 
මේ අයට සමහර වැඩ වලට දකුණ හුරුයි.සමහර වැඩ වලට වමත හුරුයි.

  4.අත් දෙකම සමාන ලෙස හුරු අය
මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Ambidexterity කියල.මධුර ඩික්ශනරියේ ඒකට කියන්නේ දෙපිට කාට්ටුවෝ කියලා.:D ඒක නිසා ඒ නම මම යොදාගත්තේ නෑ.හරි වචනය දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

ලෝකයේ දකුණත් අය 70%-90% අතර ඉන්නවා.වමත් අය ඉන්නේ 10%ක් විතර. මිශ්‍ර අය ගොඩාක් අඩුයි.දෙපිටකාට්ටුවන් ( Ambidexterity ) ඊටත් වඩා අඩුයි.:D
දකුණත් සහ වමත් කම ගැන වාද ගොඩක් තියෙනවා.ඒ දේවල් මම මෙතන කතා කරන්න යන්නේ නෑ.නමුත් පර්යේෂණ වලින් හොයාගත්ත වැදගත් කරුණු ටිකක් දාන්න හිතුවා.වමත් අය දකුණත් අයට වඩා නිර්මාණශීලියි ලු.ඒ වගේම ඒ අයට දෘෂ්ටිමය අවකාශය වැඩ (visual spatial skills)සඳහා හොඳ හැකියාවක් තියෙනවලු.අනිත් එක තමයි සංගීතයට,කලාවට නැඹුරු වෙන අය වැඩියිලු.ඒ කතාව අනුව සංගීතය හදාරණ අය 10% කට වඩා වමත් කරුවන් වෙන්න ඕනේ.ඒත් එච්චර පිරිසක් පේන්න නම් නෑ.සමහර විට ඒ අය බාධක නිසා වැඩේ අතැරලා දාන නිසාද දන්නේ නෑ.ඒව වැඩක් නෑ අපි මාතෘකාවට බහිමුකො.

අපි බලමු ගිටාර් ඉගෙන ගන්න යන වමත් කරුවන්ට තියෙන විකල්ප මොනවද කියලා.
මේ අයට ප්‍රධාන විසඳුම් 3 ක් තියෙනවා.

1.වමත් ගිටාරයක් ගැනීම හෝ දකුණත් ගිටාරයක ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කිරීම

2.දකුණත් ගිටාරයකින් වමතට වාදනය කිරීම

3.දකුණත් ගිටාරකින් දකුණට වාදනය කිරීම

දැන් අපි මේ එක් එක් ක්‍රමයේ තිය්න වාසි අවාසි හොයල බලමු.
වමත් ගිටාරයක් ගැනීම හෝ දකුණත් ගිටාරයක ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කිරීම

පහත තියෙන්නේ වමත් ගිටාරයක්.


ලංකාවේ වමත් ගිටාරයක් හොයාගන්න නම් අපහසුයි.ඒත් බැරි වෙන්නෙ නම් නෑ.ගිටාර් තියෙනවා.සාමන්‍ය ෆුල් බොක්ස් එකක් නම් ගිටාර් ස්ට්‍රින්ග්ස් උඩ යට මාරු කරල අපිට වමත් ගිටාරයක් හදා ගන්න පුලුවන්.හැබයි cutaway ගිටාරයක් ගන්න වනම් ඒ වැඩේ හරි යන්නේ නෑ.මොකද එතකොට බොක්ස් එකේ කපපු කොටස උඩට හිටිනවා.cutaway ගිටාරයක මූලික අරමුණ යට ස්ට්‍රින්ග්ස් වල පහල ෆ්‍රෙට්ස් පහසුවෙන් වාදනය කිරීම.උඩ ස්ට්‍රින්ග්ස් වල පහල ෆ්‍රෙට් වාදනය කලා කියල වාසියක් නෑ.මොකද ඒව පහසුවෙන් යට ස්ට්‍රින්ග්ස් වලින් වාදනය කරන්න පුලුවන්.අනික එහෙම කලාම ගිටාරය හරිම කැතයි.

මේ ක්‍රමයේ මූලිකම වාසිය තමයි අපිට වෙනම කෝඩ්ස් charts ඉගෙන ගන්න ඕනේ නෑ.දකුණත් අයට තියෙන chart සහ පොත්ම භාවිතා කරන්න පුලුවන්.වෙනස දකුණ වම මාරු වෙන එක විතරයි.

මේ ක්‍රමයේ අවාසිය තමයි තමන්ගේ ගිටාරය නැති වුනොත් වාදනය කරන්න බැරි වෙන එක.මොකද අනිත් අය ගාව තියෙන්නේ ගොඩක් වෙලාවට දකුණත් ගිටාර් නේ.එහෙම නැත්නම් යාලුවගේ ගිටාරයේ ස්ට්‍රින්ග්ස් මාරු කරන්න වෙනවා.ඒකට ගොඩාක් කාලය යනවා.අනිත් එක යාලුවගෙන් බැනුම් අහගන්නත් වෙනවා.

දකුණත් ගිටාරයකින් වමතට වාදනය කිරීම
මේ ක්‍රමයේදි අපි ස්ට්‍රින්ග්ස් මාරු කරන්න ඕනේ නෑ.ඒ වෙනුවට ඇඟිලි හසුරුවන විදිය වෙනස් කරන්න වෙනවා.මේ වගේ අයට වෙනම කෝඩ්ස් charts තියෙනවා.හොයාගන්න නම් ටිකක් අමරුයි.නමුත් ලංකාවේත් මේ වගේ වාදනය කරන අය ඉන්නව.
මේ ක්‍රමයේ තියෙන වාසිය තමයි වමත් ගිටාර් හොයන්නවත් ස්ට්‍රින්ග්ස් මාරු කර කර ඉන්නවත් ඕනෙ නැතිවීම.ඒත් මම නම් මේ ක්‍රමය එච්චර අනුමත කරන්නේ නෑ මොකද කොහොම හරි කෝඩ්ස් charts හොයා ගත්තත් පසු කාලීනව ගිටාරයේ විවිධ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්නකොට මේ ක්‍රමයේදී බාධක එනවා.අනිත් එක පොත් හොයාගන්න ගොඩාක් අමාරුයි.

දකුණත් ගිටාරකින් දකුණට වාදනය කිරීම

ඔයාල තාම ගිටාර් වාදනය පටන අරන් නැත්නම් මේක හොඳ විසඳුමක්.මොකද දකුණත් වේවා වමත් වේවා මුලින් ගිටාරය පුහුණු වෙනකොට අපේ අත නුහුරු විදි වලට හසුරුවන්න වෙනවා.ඒක නිසා මුල ඉඳලම දකුණත් විදියට ඉගෙන ගත්තොත් පස්සෙ වෙනසක් අතට තේරෙන්නේ නෑ.අනිත් එක ඒ වගේ අයගෙ වමත හොඳට හුරු නිසා නිසා හොඳ picking ස්පීඩ් එකක් හදාගන්න පුලුවන්.මේක ඒ අයට වෙන වාසියක්.Michael Angelo Batio කියන වාදකයා මේ විදියට පුහුණු වුන කෙනෙක්.එයාට නම් දකුණත් එකයි වමත් එකයි.ඒ කියන්නේ දෙපිට කාට්ටුවෙක් :D.Play කරන විදිය දැක්කම පිස්සු හැදෙනවා.

මෙහෙම ඉගෙන ගන්න කොට මුලින් ලොකු නුහුරුවක් ඇතිවෙන්න පුලුවන්,කොහොමත් ගිටාර් වාදනය කරනකොට මුලින් නුහුරුයි.ඒක නිසා ටික කාලයක් පුහුණු වෙලා බලන්න.හරියන්නෙම නැත්නම් වෙනත් විකල්පයක් තෝරගන්න.

මේ ක්‍රමයේ වාසි තමයි වමත් ගිටාර් හොයන්නවත් ස්ට්‍රින්ග්ස් මාරු කරන්නවත් කෝඩ්ස් charts හොයන්නවත් අවශ්‍යය නොවීම.අතිරේක වාසිය පසු කාලීනව හොඳ picking ස්පීඩ් එකක් හදාගන්න පුලුවන් වීම.අවාසිය තමයි මුල දී අතට දැනෙන නුහුරුව.

ඔයාලට මම බල කරන්නේ නෑ මේ ක්‍රමයම තෝර ගන්න කියලා .ඔයාලට ගැලපෙන ක්‍රමය ඔයාලම තීරණය කරල පොඩ්ඩක් අත්හදා බලල හොයාගන්න.

මම මේ ලිපිය ලියන්න හේතුව වුනේ gamisc විසින් යොමු කරපු ප්‍රශ්ණය.මම ඔහුට ස්තූතිවන්ත වෙනවා ප්‍රශ්ණය අහපු එකට.ඒ සඳහා මගෙන් තෑග්ගක් විදියට ගිටාර් පික් එකක් ඔහුගේ නිවසටම යවන්න තීරණය කලා.ඔයාලටත් පික් එකක් දිනා ගන්න ඕනෙ නම් මේ වගේ ප්‍රශ්ණ අහන්න අදහස් ඉදිරිපත් කරන්න.ඒ අය අතරින් මම කෙනෙක් තෝර ගත්තොත් ඔයාලටත් තෑගි දිනාගන්න පුලුවන් වේවි.මම මේ දේ කරන්නේ ගිටාර් වාදනයට ආස අය,වාදනය කරන අය එක තැනකට ගෙන ඒමේ අරමුණ සඳහා.මොකද මේ බ්ලොග් අඩවිය තමන්ගේ දැනුම බෙදාගන්න සංවාදශීලි තැනක් කරන්න තමයි මට ඕනේ.ඉදිරියට මේ වගේ නොමිලේ පික් බෙදන්න මගේ අදහසක් තියෙනවා.හැමදාම කමෙන්ට් කරන අයට ප්‍රමුඛතාවයක් දෙනවා.ඒ නිසා තමන් ගේ නමින්ම (nick name වුනාට කමක් නෑ.එක නමකින්)කමෙන්ට්ස් දාල යන්න.