සංගීතය විදු ඇසින් - දෙවන කොටස - Sinhala Guitar Lessons with Tabs and Chords

සංගීතය විදු ඇසින් – දෙවන කොටස

පසුගිය පාඩමෙන් අපි ඉගෙන ගත්තනේ සංගීතය සහ ශබ්දය අතර ඇති සම්බන්ධය ගැන.අද අපි බලමු ශබ්දයක තියෙන විවිධ ගුණ පිලිබඳව. මූලිකවම ශබ්දයක ප්‍රධාන ගුණ 3ක් අපිට කතා කරන්න පුලුවන්.ඒ තමයි

    • හඬේ සැර නැත්නම් විපුලතාවය (Loudness)

 

    • තාරතාවය (Pitch)

 

  • ධ්වනි ගුණය (Tone)
හඬේ සැර නොහොත්  විපුලතාවය 

විපුලතාවය කියන්නේ  හරිම සරලව තේරුම් ගන්න පුලුවන්  දෙයක්.අපි දෙයක් හෙමින් ඇහෙනවා කියන්නේ නැත්නම්  සද්දේ වැඩියි කියල කියන්නේ ශබ්ද තරංගයක විස්තාරය වෙනස් වෙන නිසා.මේ නිසා අපේ කණට තේරෙන දෙය විපුලතාවය කියල හඳුන්වනවා.විස්තාරය හා විපුලතාවය කියන්නේ එකක් නෙවෙයි.විස්තාරය කියන්නේ තරංගයක භෞතික ගුණයක්,විපුලතාවය කියන්නේ අපේ මොළයට දැනෙන දෙය.විපුලතාවය තීරණය කරන ප්‍රධානම සාධකය තමයි විස්තාරය.මීට අමතරව තරංගයක සංඛ්‍යාතය අනුවත් අපිට ඇහෙන හඬේ සැර සුලු වශයෙන් වෙනස් වෙනවා.ඒ කියන්නේ එකම විස්තාරය ඇති 200Hz  තරංගයක් හා 1000Hz තරංගයක් අපිට ඇහෙන volume එක යන්තම් වෙනස්.

තාරතාවය
මං කිව්වනේ මිනිස් කණ සාමන්‍යයෙන් සංවේදී 20Hz-20,000Hz දක්වා කියලා.සංඛ්‍යාතය වැඩි වෙනකොට අපේ මොලයට දැනෙන දෙය තාරතාවය කියලා හඳුන්වනවා.

පහතින් තියෙන්නේ විනාඩියක් තුල 20Hz ඉඳන් 20000Hz දක්වා වැඩි කරන video එකක්.බලන්න ගැඹුරු පහත් හඬක ඉඳන් උස් හඬක් ඔබට ඇහෙනවද කියලා.
සමහර විට මුලු පරාසයම ඔයාලට ඇහුනෙ නැති වෙන්න පුලුවන්.බය වෙන්න එපා.එක එක අයගේ පරාසය පොඩ්ඩක් වෙනස්.කොහොම හරි සංඛ්‍යාතයත් එක්ක ඔයාලට තේරුන වෙනස, මොළයට දැනුන දෙය තමයි තාරතාවය කියන්නේ.සංඛ්‍යාතයයි තාරතාවයයි කියන්නේ එකක් නෙවෙයි.සංඛ්‍යාතය කියන්නේ තරංගයක භෞතික ගුණයක්.ඒ නිසා කණට දැනෙන දෙය තමයි තාරතාවය කියන්නේ.තාරතාවය තීරණය කරන්නේ සංඛ්‍යාතය විතරක්ම නෙවෙයි.විපුලතාවය ඒ කියන්නේ හඬේ සැර අනුවත් තාරතාවය සුලු වශයෙන් වෙනස් වෙනවා.මෙහෙම වෙන්නෙ ඉතා ඉහල සහ පහල සංඛ්‍යාත වලදී විතරයි.උදාහරණයක් විදියට එකම සංඛ්‍යාතය ඇති (200Hz) තරංග දෙකක් යන්තම් කණට ඇහෙන තරමට හා ඉතා හයියෙන් ඇහෙන්න සැලැස්වුවොත් ඒ දෙකේ semitone එකක් තරම් වෙනසක් අපේ මොළයට තේරෙන බව හොයාගෙන තියෙනවා.

ධ්වනි ගුණය

ගිටාරයකින් සහ පියානෝවකින් එකම ස්වරයක් එකම තීව්‍රතාවයකින් කම්පනය කලත් ඒ කියන්නේ එකම විපුලතාවයක් හා එකම තාරතාවයක් ඇති වෙන ලෙස වාදනය කලත් ඒ ශබ්ද දෙක අපිට වෙන් කරල හඳුනගන්න පුලුවන්.මෙන්න මේ කාරණයට තමයි අපි කියන්නේ ධ්වනි ගුණය කියලා.කොහොමද මොළය ඒ දෙක වෙන් කරගන්නේ?
සරසුලක් (Tuning Fork) කම්පනය කලාම ඇති වෙන තරංගය පහත ආකරයෙන් පෙන්නන්න පුලුවන්.
මෙහිදී ඇති වෙන්නෙ ශුද්ධ තරංගයක් ඒ කියන්නේ සිදුවන්නේ අදාල කම්පනය විතරයි.
නමුත් වාදන භාණ්ඩ වලින් ස්වරයක් වාදනය කලාම ඒ සංඛ්‍යාතයට අමතරව එහි ගුණාකර වන උපරිතාන හට ගැනෙනවා.එතකොට ඒ තරංගත් එක්ක මිශ්‍ර වෙලා අපිට ඇහෙන්නේ වෙනස් හැඩයක් තියෙන තරංගයක්.
එක එක වාදන භාණ්ඩ වලින් නිපදවෙන උපරිතාන ගණන සහ ඒවා වල විස්තාර වෙනස් වෙනවා.එතකොට අර අපි කිව්ව මිශ්‍රණය වෙනස් වෙනවා.ඒක නිසා එක එක වාදන භාණඩ වලින් ඇති වෙන්නේ එයට විශේෂිත වූ හඬක්.අපේ මොළය මේ විශේෂිත හඬවල් මතක තියාගෙන ඉන්නවා.එතකොට ඒ ලඟින් යන හඬක් ඇහුනාම මේ ඇහෙන්නේ පියනෝවක් එහෙමත් නැත්නම් ගිටාරයක් යනුවෙන් අඳුන ගැනීමක් කරනවා.
ඔයාලට මේ කරුණු ටික තේරුනේ නැත්නම් නැවත නැවත කියවන්න.මේ කරුණු හරියටම ඉගෙන ගත්තාම ගොඩක් ලේසියි. ඉස්සරහට ස්වර ඉගෙන ගන්න  තාරාතාවය කියන එක ගොඩක් වැදගත් වෙනවා.ඒ වගේම ear training සඳහා හොඳ පදනමක් දාගන්න පුලුවන්   තාරාතාවය තේරුම් ගත්තට පස්සේ. ප්‍රශ්ණ තියෙනව නම් අහන්න.කමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා.