සංගීතය විදු ඇසින් - ප්‍රථම කොටස - Sinhala Guitar Lessons with Tabs and Chords

සංගීතය විදු ඇසින් – ප්‍රථම කොටස

සංගීතය ගැන මූලික හැදෑරීමක් කරන්නේ නැතුව වාදන භාණ්ඩයක් ඉගෙන ගන්න එක ගිරවෙක්ට කතා කරන්න උගන්නවා වගේ වැඩක්.උගන්නන දේවල් ඇර වෙන දෙයක් හිතලා කරන්න බෑ.ඒක නිසා අපි යන්න හදන දිගු ගමනට හොඳ පදනමක් දාගන්න සංගීතය කියන්නේ මොකද්ද කියන එක ගැන පොඩි හැදැරීමක් කරමු.
සංගීතය කියන එකට නිර්වචන ගොඩාක් තියෙනවා.නිර්වචනයක් කියන එක අපි කරන්නෙ කුමක් සඳහාද,කුමන පසුබිමේ ඉඳන්ද කියන කරුණු මත වෙනස් වෙනවා.හැමෝටම තේරෙන විදියට ගත්තොත් සංගීතය කියන්නේ නාද සහ නිශ්ශබ්ද මාධ්‍ය කරගත් කලාවක්.නිශ්ශ්බ්දතාවය කියන්නේ නාද වගේම ප්‍රබල මාධ්‍යක්.මොකද අපිට තාලය කියල සංකල්පයක් ගොඩ නැගෙන්නේ නාද අතර තිබෙන හිඩැස නිසා.

නාදයක් කියන්නේ මොකද්ද? ඊට කලින් අපි ඉගෙන ගන්න ඕනේ ශබ්දයක් කියන්නේ මොකද්ද කියලා.ශබ්දය කියන්නේ පදාර්ථ (ඝන, ද්‍රව, වායු )කම්පනය වීම නිසා ඇති වෙන ශක්තියක්.ශබ්ද අපිට බෙදන්න පුලුවන් නාද සහ ඝෝෂා යනුවෙන්.නාද කියල කියන්නේ කණට මිහිරි ක්‍රමවත් කම්පන ස්වරූපයක් ඇති ශබ්ද වලට.උදාහරණයක් තමයි ගිටාරයකින් ස්වරයක් වාදනය කලාම ඇතිවෙන ශබ්දය.ඝෝෂා කියල කියන්නේ කණට අමිහිරි අක්‍රමවත් කම්පන ස්වරූපයක් ඇති ශබ්ද වලට.උදාහරණයක් තමයි පාරේ බස් එකක් යන කොට ඇති වෙන ශබ්ද.දැන් ඉතින් ඔයාලට හිතෙනවා ඇති බස් එක යන සද්දේ විතරක් නෙවෙයි සමහර බස් වලින් ඇහෙන සින්දුත් ඝෝෂාවක් කියලා.මේකට හේතුව මොකද්ද කියලා අද පාඩම අවසාන වුනාම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.

නාද සහ ඝෝෂා වෙනස් වෙන්නේ කොතනින්ද කියන එක පුද්ගලයගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.සමහර සංගීත නිර්මාණ වලදී ඝෝෂා කියන ඒවත් යොදාගන්නවා.ඒ වගේම තමයි නාද කියන ඒවත් ක්‍රමවත්ව යොදාගත්තේ නැති වුනොත් එතන සංගීතයක් ඇති වෙන්නේ නෑ.හැබැයි ක්‍රමවත් බව ,නීති රීති කියන ඒව සාපේක්ෂයි.මං මුලින්ම කිව්වනේ නිර්වචනයක් කියන එක අපි කරන්නේ කුමක් සඳහාද,මොන පසුබිමේ ඉඳන්ද කියන එක මත වෙනස් වෙනවා.සමහර අයට සංගීතයක් නොවෙන දේවල් සමහර අයට සංගීතයක් වෙනවා.උදාහරණයක් විදියට අපිට jazz සංගීතය ගන්න පුලුවන්.Jazz සංගීතයේදි වාදකයෙක් හෝ ගායකයෙක් හෝ improvise කිරීමේදී මේ සංගීතය රස විඳල නැති කෙනෙක්ට මේ මොන විකාරයක්ද කියල හිතෙන්න පුලුවන්.සංගීතය දන්න කෙනෙක්ට වුනත් jazz සංගීතය කලින් රස විඳල නැත්නම් ස්වර එහෙට මෙහෙට යන විදිය දැකලා මේ මොන විකාරයක්ද කියල හිතෙන්න පුලුවන්.ඒත් jazz සංගීතය ටිකක් අහල පුරුදු කෙනෙක්ට එහි ලොකු රසාස්වාදයක් තියෙනවා.තමන්ගේ සංස්කෘතිය අනුව තමන් වැඩිපුර අහන දේවල් අනුව මේක වෙනස් වෙනවා.

සමහර සංගීතඥයන් කියනවා නාදය සහ ඝෝෂා යනුවෙන් දෙකක් නැති බව.ඔවුන් පවසන්නේ ඇත්තේ ශබ්ද පමණයි කියලා.නාදය, ඝෝෂා සහ ඒ බව තීරණය කරන කණට මිහිරි අමිහිරි බව කියන ඒව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.ඒක නිසා නිර්වචනය පිටිපස්සේ වැඩිය එලවන්න එපා.

අපිට වැදගත් වෙන්නේ අපේ මොළය සංගීතය ග්‍රහණය කරගන්නේ කොහොමද කියල දැනගන්න එකයි.
මේ සඳහා අපි මුලින් අපිට පේන්නේ කොහොමද කියල හොයල බලමු.ඔයාල දන්නව ඇති අපේ ඇහට පේන්නේත් තරංග විශේෂයක්,ඒකට අපි කියනවා විද්‍යුත් චුම්භක තරංග කියලා.සියලුම විද්යුත් චුම්භක තරංග අපිට පේන්නේ නෑ.පහත සඳහන් රූපය බැලුවාම ඔයාලට ඒක තේරෙයි.

අපේ ඇහට ගෝචර වෙන සංඛ්‍යාත පරාසය තමයි ඔය visible light කියල පෙන්නල තියෙන්නේ.අනිත් ඒව අපේ ඇහට පේන්නේ නෑ.ඒව පාරජම්බුල කිරණ,X කිරණ ආදී වශයෙන් බෙදන්න පුලුවන්.ඇහට පේන පරාසය ගත්තොත් ඔයාලට පේනවා ඇති සංඛ්‍යාතය අනුව අපි අඳුනගන්න වර්ණය වෙනස් වෙනවා.අපි නිල්,රතු,කහ යනුවෙන් විවිධ වර්ණ කියන්නේ වෙනස් සංඛ්‍යාත වලින් යුක්ත කිරණ වලට.

ඔය විදියම තමයි අපි ශ්‍රවණය කරන විදියත්.ඇහට විද්‍යුත් චුම්භක තරංග පේනවා වගේ කණට ඇහෙන්නේ ශබ්ද තරංග.අපේ මිනිස් කණට ඇහෙන සංඛ්‍යාත පරාසයක් තියෙනවා.සාමාන්‍ය මිනිසෙක්ට 20-20,000Hz ඇහෙනවා.පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක වෙනස් වෙනවා.වයසට යනකොට ඔය පරාසය ටික ටික අඩු වෙනවා.සත්තුන්ට ඇහෙන පරාස වෙනස්,උදාහරණයක් විදියට බල්ලන්ට 20,000Hz වලට වඩා වැඩි ශබ්ද තරංගත් ඇහෙනවා.

සංගීතයේ ස්වර කියන ඒව අපේ ඇහට පේන වර්ණ වලට ආදේශ කරන්න පුලුවන්.සංඛ්‍යාතය වෙනස් වුනාම පේන වර්ණය වෙනස් වෙනවා වගේ ඇහෙන ශබ්දයේ සංඛ්‍යාතය වෙනස් වුනාම අපිට ඇහෙන ස්වරය වෙනස් වෙනවා.

අදට ඔය ඇති කියල හිතෙනවා.ඊලඟ පාඩමෙන් අපි ශබ්ද තරංග ගැන ගැඹුරට විමසල බලමු. තාරතාවය,ධ්වනි ගුණය,විපුලතාවය කියන දේවල් තේරුම් ගත්තට පස්සේ ඔයාලට තේරේවි ස්වර හැදිල තියෙන්නේ කොහොමද,ස්වර කියන ඒව සංඛ්‍යාතයට සම්බන්ද වෙන්නේ කොහොමද ,ගිටාරයකින් සහ පියනෝවකින් එකම ස්වරයක් වාදනය කලත් වෙනස් ශබ්ද ලෙස කණට දැනෙන්නේ කොහොමද, කියන ඒවා.මේ දේවල් හරියටම තේරුම් ගන්න නම් තරංග පිලිබඳව පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා.විද්‍යාව හදාරල නැති අය බය වෙන්න එපා.හැමෝටම තේරෙන විදියට සරලව පැහැදිලි කරල මම ලියන්නම්.

පසුවදන

Q: මේ දේවල් නොදැන සංගීතය ඉගෙන ගන්න බැරිද?
A: පුලුවන් නමුත් අහල ඇතිනේ "ඉක්මන් ගමන කොටයි"