ස්වර හැදෙන හැටි - Sinhala Guitar Lessons with Tabs and Chords

ස්වර හැදෙන හැටි

තාරතාවය සහ සංඛ්‍යාතය කියන දේවල් අපි ඉගෙන ගත්ත නිසා ස්වර කියන්නේ මොනවද කියන එක හරියටම තේරුම් ගන්න දැන් අපිට පුලුවන්.අද අපි බලන්න යන්නේ සංගීතයේ ස්වර කියන ඒව කොහොමද හැදිල තියෙන්නේ කියලා.

සංඛ්‍යාතය කියන එක දෙගුණ වුනාම අපේ කණට අමුතු  සම්බන්ධතාවයක් දැනෙනවා.ඒ කියන්නේ අපි 200HZ සහ 400 HZ අහුවොත් ඒ දෙකේ කිසියම් සම්බන්ධයක් තියෙනවා කියලා තේරෙනවා.හැබැයි සංගීතය හදාරල නැති අය සහ වැඩිය අවධානයකින් සංගීතය අහන්නෙ නැති අයට මේක තේරෙන්නේ නෑ. මේ සම්බන්ධය නිරපේක්ෂ සංඛ්‍යාතය මත තීරණය වෙන්නේ නෑ.ඒක සාපේකෂයි,ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාතයක් හා එහි දෙගුණයක් වෙන සංඛ්‍යාතය අපිට ඇහුවම ඒ දෙකේ සම්බන්ධයක් අපිට තේරෙනවා.එකම ස්වරය උච්ච සහ මන්ද්‍ර විදියට ඇහෙනව කියන්නේ ඕකටයි.ඔය පහල තියෙන video එක අහල බලන්න ඔයාලටත් යම් සම්බන්ධයක් ඇති බව තේරෙනවද කියලා.

සංගීතය කියන එක බැඳිල තියෙන්නේ අපේ කණට ඇහෙන දෙය  මොළය  interpret කරන විදිය අනුව.දැන් ඔයාලට තේරුනා නේ සංඛ්‍යාතය කියන එකේ සාපේක්ෂ බව නිසා අපේ කණට අමුතු සම්බන්ධතා දැනෙනවා කියලා.දැන් අපි බලමු ස්වර කොහොමද හැදෙන්නේ කියලා.මං කිව්වනේ මිනිස් කණ සංවේදි 20Hz-20000Hz දක්වා.ඉතින් මේ 20Hz ඉඳන් අපිට 20000Hz දක්වා සංඛ්‍යාතය අනන්ත ප්‍රමාණයක් බෙදන්න පුලුවන්.ඒත් අපේ කණට වෙනසක් වටහා ගන්න නම් සංඛ්‍යාතයේ අවම පරතරයක් තියෙන්න ඕනේ.උදාහරණයක් විදියට අපිට 400Hz සංඛ්‍යාතයයි 401Hz සංඛ්‍යාතයයි එකම ස්වරයක් විදියට ඇහෙන්නේ,නමුත් මේ වෙනස ටිකක් වැඩි කලොත් ඒ කියන්නේ 440Hz විතර කලොත් ඒ දෙක වෙනස් කියලා අපේ කණට තේරෙනවා.එක එක සංඛ්‍යාත වලදී මෙම අවම අගය වෙනස් වෙන නිසා හරියටම මෙච්චරයි කියලා කියන්න බෑ.දැන් ඔයාලට තේරෙනවනේ සංඛ්‍යාතය පොඩ්ඩ පොඩ්ඩ වැඩි කලාම ඒව වෙනස් ශබ්ද ලෙස තේරෙනවා කියලා.එතකොට ඔයාලට හිතෙයි එහෙම වෙනස් කියල තේරෙන ඒවද ස්වර කියන්නේ කියලා.නෑ එහෙම නෙවෙයි.ඒ සංඛ්‍යාත වලිනුත් සමහර ඒවා අතර අමුතු සම්බන්ධතාවයක් අපේ කණට දැනෙනවා.හරියට මිනිස් ඇහැ රතු,නිල්,කහ වර්ණ අඳුන ගන්නව වගේ.අපි ඉස්සෙල්ල අර උච්ච මන්ද්‍ර ස්වර ඇහුවෙ.ඒ වගේ සංඛ්‍යාත වල එක එක භාග වලදී කණට යම් යම් සම්බන්ධතා ගොඩනැගෙනවා.අන්න ඒ සම්බන්ධතා පදනම් කරගෙන තමයි ස්වර ගොඩනැගිලා තියෙන්නේ.හැබැයි එක එක  සංගීතඥයන්ට පොඩ්ඩ පොඩ්ඩ මේ සංඛ්‍යාතය සාපේක්ෂ ලෙසත් නිරපේක්ෂ ලෙසත් වෙනස් කරන්න පුලුවන්.උදාහරණයක් විදියට A  ස්වරයට 440Hz,436Hz,444Hz වගේ අගයන් යොදාගන්න පුලුවන් එතකොට ඊට සාපේක්ෂව අනිත් ස්වර වල සංඛ්‍යාත වෙනස් වෙනවා.නමුත් සම්මතයක් තියෙන්න ඕනෙ නිසා දැනට A ස්වරය 440Hz ලෙස ගොඩක් සංගීතඥයන් යොදාගන්නවා.
ඒ වගේම ස්වර අතර පවතින ගණිත සම්බන්ධතාත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා සමහරු ස්වර ගොඩ නංවලා තියෙනවා.ස්වර හදාගන්න ගණිත ක්‍රම ටිකක් සංකීර්ණයි.එක එක සංගීත සම්ප්‍රදායන් අනුව,කාලෙන් කාලෙට මේ ක්‍රමය වෙනස් වෙනවා.ඒ අනුව එක එක ස්වර වලට හිමි සංඛ්‍යාත ඉතා සුලු වශයෙන් වෙනස් වෙනවා.මෙහෙම වෙනස් කරන්නේ අපේ කණට ඇහෙන්න ඕනේ මිහිරිම විදිය ගැන එක එක්කෙනා දරණ මතයන් නිසා.

සංගීතය ඉගෙන ගැනීමේදී අපිට වැදගත් වෙන්නේ ස්වර හදාගන්න ක්‍රමය නෙවෙයි එම ස්වර මොනවාද සහ ඒවා යොදාගන්නා නීති රීති මොනවද කියල ඉගෙන ගැනීමයි.ඒක නිසා ඊලඟ පාඩමෙන් අපි බටහිර සංගීතයේ සහ හින්දුස්තානි සංගීතයයේ මූලික ස්වර ගැන ඉගෙන ගමු.

පසු වදන: ටිකක් කල් යනව තමයි මෙහෙම විස්තර ඇතුව ඉගෙන ගන්න,නමුත් මෙහම ඉගෙන ගත්තම ඔයාල කවදාවත් අතරමං වෙන්නේ නෑ.ප්‍රශ්ණ තියෙනව නම් අහන්න,ප්‍රශ්ණ අහන්නේ නෑ කියන්නේ එක්කෝ ඔයාලට මං කියන දේවල් සක් සුදක් සේ තේරිලා වෙන්න ඕනේ.නැත්නම් එක අකුරක්වත් තේරිලා නැතුව වෙන්න ඕනේ 😀